Monday, August 24, 2015

මං කැමතිම ගීත දහය. පළමු පෙලගැස්ම. අචිනි උත්තරා..

මං කැමතිම ගීත දහය. පළමු පෙලගැස්ම. අචිනි උත්තරා..


මං කැමතිම ගීත දහය අපගේ Facebook සින්හල ගී පදවැල් හෙවත් " Sinhala Song Lyrics Kasun Images." පි‍ටුව මගින් ඉදිරිපත් කල පළමු ගීත දහයාද ඔබ වෙත ගෙනෙන්නයි මේ සූදානම.

~~Number 10~~

අචිනි උත්තරා විසින් ඉදිරිපත් කල ගීත දහයේ දසවැන්න මෙලෙස ඉදිරිපත් කරන්නට සූදානම්. ඉතින් ඒ දසවැන්නට තේරෙන ගීතයනම් සුවිශේශි ගීතයක්. ඒ මොකද කියලා කියනවනම් මේ ගීතය මව්පියවරුන් ගැන කියන ලස්සන ගීතයක්. එදා දවස චරිතා පියදර්ශනී පීරිස් මහත්මිය විසින් තම කුඩා කල සිට හිතවත් හිමි නමකට කියලා මේ ගීතය නිර්මානය කරවා ගත්තේ තම දෙමාපියන් වෙනුවෙන්. ඇය මේ ගීතය ගයන්නේ තමන්ගේ දෙමාපියන් වෙනුවෙන්. ඉතින් මෙහි මුල් පද පෙල හතරට පසුව අපි දෙමාපියන් ‍රැකගත යුතුයි යන අර්තය දෙන පද පෙලක්ද අන්තර්ගතව තිබුනලු. නමුත් පද පෙල කියවීමෙන් පසුව චරිතා මහත්මිය විසින් එම හිමි නමට පවසා ඇත්තේ, එම පද පෙල ඉවත් කර පද පෙල සකස් කර දෙන මෙන්. ඒ කුමක් නිසාද යත් ඇය පවසන පරිදි අපි දෙමාපියන් අපි වෙනුවෙන් කරන දේ මෙලෙස ගායනා කලද දෙමාපියන් වෙනුවෙන් ගරු බුහුමන් දැක්වීම දරුවන් සතු වගකීමක් බවයි ඇයගේ මතය වුනේ. ඉතින් අහලා බලන්න ලස්සන ගීතයක්.අපි මෙහි එන රූප නිර්මාණයට ‍තෝරගත්තේ තරුණ වියේ මාපිය යුවලකගේ දසුනක්. එහෙනම් මේ ඉදිරිපත් කරන්නේ අචිනි උත්තරා සොයුරිය විසින් අපට ‍තෝරා දුන් ගීත දහයෙන් දසවැන්න. 

මවයි පියයි එකතු වෙලා
ගහයි වැලයි සේ...
මල් මැව්වා ලොව මැව්වා
ඉරයි හඳයි සේ...


හඳපානේ ඉකිබිඳ බිඳ
නිදිවැරුවා දරු නොදනී
හිරුපානේ දුක් විඳ විඳ
බත සෙව්වා දරු නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ..//



මවයි පියයි එකතු වෙලා...//



මව් සෙනෙහස අහස වැනිය
දන් දුන්නා දරු නොදනී
පිය සෙනෙහස සයුර වැනිය
දන් දුන්නා දරු නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ..//



මවයි පියයි එකතු වෙලා...//



ගායනය - චරිතා ප්‍රියදර්ශණී පීරිස්.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.





~~Number 09~~

අම්මගෙ සෙනෙහසට මුවා වෙලා අපේ රත්තරන් තාත්තා අපිට කොච්චර දේවල් කරනවද. කොච්චර දේ කියලා දෙනවද. එයා දවසක් දහඩිය හෙලුවෙ නැතිනම් අපි එදාට කුසගින්නේ. අම්මා තරමටම තාත්තා වෙනුවෙන් ගීත නිර්මාණය නොවුනත් රචකයින් ඉඳහිට හෝ ඔහුව මෙලෙසින් අගයනවා. අපේ කැත කුණු අත නොගෑවට, අපිට ලේ කිරි කරල නොපෙව්වට ඔහු දහඩිය හෙලලා, ලේ හෙලලා අවුවේ හිඳගෙන අපේ දිවි රකින්න අපිට හෙට දිනෙත් ජීවත් වෙන්නට ලොවක් තනනවා. ඒ තාත්තා දවසක වියපත් වුනාම අපි එදාට ඔහුට අපේ යුතුකම ඉ‍ටුකල යුතුයි., මේ ඒ වගේ අපේ ආදරණීය පියාණන් ගැන ලියවුනු ලස්සන ගීතයක්. ගායනා කරන්නේ රකිත වෙලන්ගොඩ. අචිනි මේ ගීතයට ගොඩාක්ම ආසයි කිව්වෙ පිය සෙනෙහස ගැන කියවෙන නිසාලූ. එහෙනම් බලන්න. අහන්න මේ ලස්සන ගීතයත්. මේ අචිනි තේරූ ගීත දහයෙන් නවවැන්න.

පුරමී පාරමී
පතමී හැම භවේ
ඔබගේ පුතු ලෙසේ
සසරේ ‍රැ‍ඳෙන සේ...//

චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ
මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ
උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ
පියානනි ඔබේ පාද වන්දනා කරම්

පුරමී පාරමී...

කල්ප වෘක්ශයක් වගේ නොසෙල්වි සෙවන වූ
සෙත් කවක් සෙ දුක් නිවාලා සිත් පහන් කෙරූ
මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ
පියානනි ඔබේ පාද වන්දනා කරම්

පුරමී පාරමී...

ගායනය :- රකිත වෙලංගොඩ.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.





~~Number 08~~

ආදරය සිතට කොච්චර විවිදාකාර විදියට බලපානවද, සමහර අයට ආදරය වේදනාවක් වෙද්දි සමහර අයට ආදරය මහමෙරක්, මහමෙරක් තරමට ආදරය කරද්දි විඳිද්දි. අපායක් තරමට ආදරය රිදවද්දි විඳවද්දි. සමහර අයටනම් ආදරය කියන්නෙ සිහිනයක්. තම සිතට ආදරයක් සොයමින් යද්දි ඇසට හසුවන රුවක් ළඟ සිත නතර වෙන්නෙ ඒ ආදරය සමහර විටෙක සංසාරික බැඳිමක් නිසා වෙන්නත් පුලුවන්. කොහොම වුනත් ඒ හටගත් ආදරය සිත තුල ‍රැව් දෙන්න ගන්නෙ ඉබේටම. මේ ගීතය තුලින් කියන්නෙත් තරුනියක දු‍ටු තරුණයෙක්ට ඇය කෙරේ ඇතිවූ ආදරය කියාගන්නට නොහැකිව ලතවෙන අයුරු... ඉතින් මේ ගීතයට අචිනි ආසයි කියලා කිවේනම් මේ පදවැල හුඟක් ලස්සන නිසාලු. ඇත්තටම මේ පදවල් හුඟක් ලස්සනයි. ඔයත් අහලම බලන්නකො. මේ අචිනි තේරූ ගීත දහයෙන් අටවැන්න.

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත ‍තෝරනා ඔබේ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟිදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ

මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබවේ දැයි
සිත කීවේ දු‍ටු මුල් දිනේ
පැටලුම් වීලා විසඳුම් හොයනා සිත ළඟ පෑහී
කියමූ ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔය හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගෙ හද තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා..

ඔය ඇස් දිහා...

ඇසෙනා මානේ ඔබ අද වේනම් ඇතිනම්
හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනූ ගීතේ අවසානය ගැයේ
මැවු සිහිනේ පිබිදෙයිද මං
ඔය හද හිමි වුනත් ඔබ අහිමි වුනත්
මගෙ හද තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා..

ඔය ඇස් දිහා...

ගායනය :- ප්‍රදීප් රංගන.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
පද රචනය :- සචිත්‍ර උදයංග.
සංගීතය :- සංජුල හිමාල.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.





~~Number 07~~

ආදරය කොච්චර සුන්දරද ඒ ආදරයට අපි නිගා නොකරනවනම්, ආදරය කොච්චර ලස්සනද අපි ඒ ආදරය අවලස්සන නොකරනකල්. අපිම වලක් කපලා ඒ වලට බැහැලා අනේ මාව ගොඩට ගන්න කියනවා වගේ නේද මේ ආදරය, අපි ආදරය කරලා ඒ ආදරයට පි‍ටුපාලා ආයේත් දවසක ඒ ආදරයේ අඩුව දැනුනම අනේ ඒ ආදරේ මට තිබුනනම් කියලා හිතන්නෙ අපිමයි. වැ‍රැද්ද කරන අපිමයි. ෂෙහාන් කෞශල්‍ය ගායනා කරන මේ ගීතය ලස්සන ගීතයක්. ඇත්තටම මේ ගීතය මගෙත් හිතට දැනුනු ගීතයක්.මේ ගීතයේ තනුව සහ එහි ස්වර පරාස තුල අසන්නන්ව කුල්මත් කරනවා නිසැකය. තනුවටම ගැලපෙන ෂෙහාන්ගේ හඬ ලස්සනට මුසුවෙලා තිබෙනවා. සජිත් වී චතුරංග රචනා කල මෙම ගීතය ඔබත් අහලා බලන්න. අචිනි මේ ගීතය ‍තෝරලා ඇය කිව්වෙ මේ ගීතය ඇයගේ අත්දැකීමක් කියලා ජීවිතයට සමීපයි කියලා. ඇත්තෙන්ම. ඔයත් අහලා බලන්න. විඳින්න. මේ අචිනි මං කැමතිම ගීත දහයට තේරූ හත්වැන්න.

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයේ නො එන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාළුවෙන්නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

ඉඳහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළංවීලා
කවුරුවත් නෑ මේ තරම්නම් ආදරේ දීලා
යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

ඔබ සොයාලා...

ගායනය :- ෂෙහාන් කෞෂල්‍ය.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
පද රචනය :- සජිත් වී චතුරංග.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙනි.






~~Number 06~~

ඉස්සර ශ්‍රී ලාංකික ජනයා තම දුක කියන්න නිතර පන්සලට ගියා බුදු සමිඳුන් ඉස්සරහට වෙලා පුජ පූජා පවත්වලා පංසලේ බෝදින් වහන්සේට නමස්කාර කරලා පුද පූජා පවත්වලා තම දුක් ගැනවිලි විසඳගන්න පිහිටක් පැතුවා.අපේ මිනිසුන් තුල ශ්‍රීපාදය, ශ්‍රී දළඳාව, ශ්‍රී මහා බෝදීන් වහන්සේ පිළිබඳව පැවති භක්තිය විශ්වාෂය මේ ගීතය තුලින් මනාවට පැහැදිලි වෙනවා. අපේ අතීත මිනිසා තුල පැවති සිර්ත් විරිත් සමුදායන් එක්ක පංසලට තම අස්වැන්නෙන් ප්‍රතම සහල් මිට පංසලට පූජා කරලා අලුත් සහල් මංගල්‍ය පවත්වනවා ඉතින් මේ ගීතයෙන් කියැවෙන්නේ එක අම්මා කෙනෙක් එහෙම ශ්‍රී මහා බෝධින් වහන්සේට පුද පූජාවන් පවත්වමින් ඇයට හිතට දුකක් වූ පිරිමි දරුවෙකුගේ අඩුව පුරවා දෙන මෙන්. පිරිමි දරුවෙක් දෙන්න කියලයි. ඉතින් ලස්සන ගීතයක්. නිරංජලා සරෝජණී මහත්මිය ගයන ලද මේ ගීතය අහලා බලන්න ඔයත්. මේ ගීතයට අචිනි කැමතියි කිව්වේ ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුසස් ගැන කියවෙන නිසාලු. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත් ශ්‍රීපාදස්තානයෙත් රූප දෙකක් කැටිකොට රූපය නිර්මානය කරන්නට යෙදුනා. ඉතින් අචිනි අපිට මං කැමතිම ගීත දහයට මේ ගීතය ‍තෝරලා දුන්නේ සයවෙනි ස්ථානයට. මේ සයවැන්න..

සිරීපාද වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනිමංසල බයක් නැතිව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..

සිරීපාදෙ වන්දවන්න...

ගෑණූ අපට සංසාරේ බර හෑල්ලූ වෙන්නයි
වී අහුලන කුරුලු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..

සිරීපාදෙ වන්දවන්න...

ගායනය :- නිරංජලා සරෝජණී.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.






~~Number 05~~

අපේ රට තුල විවිද ආක්‍රමන කලින් කලට පැමිනියද්. සිංහලයින් විසින් තම ශක්තිය බලය උපයෝගි කරගෙන ඒ සියලු බලපෑම් පරදවා හැර ඇත. චෝලයින්, පෘතුග්‍රීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්, සහ පසුව පැමිණි දමිල බලවේග පරාජ කර හරින්නට සිංහලයින් සමත් විනි. ඒ තමන්ගේම තිබු ශක්තීන් උපයෝගී කරගෙනයි. නමුත් මේ ගීතය නිර්මානය වුනේ මං හිතන විදියට 1972-1978 අතර කාලය තුල වෙන්න පුලුවනි. මොකද ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය ස්වයං ආර්තික ක්‍රමය නිසා පිටරටින් ආහාර නොගෙන්වීම කල කාලයේ. ඇත්තටම අපේ රටේ වැවුනු තල කුරහන්, මෙනේරී ටික අද වැවීම අඩු වෙලා. ඉස්සර අපේ මිතුන් මිත්තෝ සටන් කලේ ඒ අල බතල ධාන්‍ය වර්ග ආහාරයට අරගෙන. නමුත් 1978න් පසුව විවෘත ආර්ථ්ක ක්‍රමයත් සමඟම අපේ මිනිසුන් පිටරටින් ගෙනෙන ආහාර භාවිතයට ගැනීම නිසා අද වෙන විට අප මිනිසුන්ගේ ආයූ කාලය සහ ශක්තිය බොහෝ සෙයින් ඉස්සරට වඩා අඩු වී ඇත. එය බොරුවක් නොවේ. අපේ රටේ අපි වවාගෙන කාලා ජීවත් වෙන යුගයක් උදාවේවා කියලා පතන ගමන් මේ ගීතය බලමු. මේ ගීතය අචිනි තේරුවේ එයා විසින් තේරුව මං කැමතිම ගීත දහයේ පස්වන ස්ථානයට. ඉතින් මේ අචිනිගේ ගීත දහයේ පස්වැන්න.

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කො‍ටුකර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙලයන්...

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රජුනට දාවූ සිංහ පැටව්
තු‍ටුවෙද අනුනගේ ඉඳුලින්...

තුන් හෙලේ...

අප දජයේ ඉන්නා සිංහ පැටව්
පැන යන්නට පෙර මෙරටින්
පිටර‍ටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

තුන් හෙලේ...

ගායනය :- නන්දා මාලිනී.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.






~~Number 04~~

මේ ගීතය ඇහෙද්දි මං ඒ ගීතය පැත්තකට වෙලා අහන් ඉන්නවා. ඒ ගීතයේ තේරුම විඳගන්නවා. ඇත්තටම ලස්සන ගීතයක්. මං අහලා තියෙන විදියට රජී වෙල්ගම මහත්මයා මේ ගීතය රචනා කරලා තියෙන්නෙ අනුරාදපුරේ පැත්තේ බස් හෝල්ට් එකක ඉඳගෙනලු. ඒ වෙලාවේ වුනත් ඔහුගේ සිතට ගලාගෙන ආව වචන ටික ඇත්තෙන්ම ඉස්තරම්. බලන්න කොච්චර රලු කලු ගලක් වුනත් සියුමැලි පෙනුමක් ගන්නට තරමට අවුකන බුදු පිලිමය තනා තිබෙන අයුරු. මං අහලා තිබෙනවා අවුකන බුදු පිලිමයෙන්බුදු හාමුදුරුවන් වහන්සේගේ දෙතිස් මහ පුර්ශ ලක්ශන පෙන්වන ආකාරයට තමාලු එය නිර්මානය කරලා තියෙන්නෙ. කොච්චර රළු ගලක් වුනත් ඒ තරමට සියුම්ව නිර්මානයකට පෙරලන්න තරමට අපේ පැ‍රැන්නන් සතුව වූ තාක්ශනය ගැන මනාවට මේ ගීතයෙන් කියවෙනවා. අහලම තේරුම් ගන්නකො ඔයාලා මං කියනවට වඩා. රුවන් මහත්මයා විසින් සුනිල් මහත්මයාගේ කටහඬට ගැලපෙන ලස්සන තනුවකට අනුව මේ ගීතය ගැයෙනවා. හරිම ලස්සනයි. අහලම බලන්න ඔයාලා. මේ අචිනි මං කැමතිම ගීත දහයට කිව්ව සිව්වැන්න.

මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...//

කලා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...//

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා...//

මේ තරම්...

ගායනය :- සුනිල් එදිරිසිංහ.
පද රචනය :- රජී වෙල්ගම.
සංගීතය :- දර්ශන රුවන් දිසානායක.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරා.






~~Number 03~~

කකුලට සෙරෙප්පු දෙකක් නොමැතිව ගෙතුල යන්නට බැරි, වාහනයක් නැතිව මීටර් 10 පාරේ යන්න බැරි බේබිලා ඉන්න අපේ රටේ අඩිය හිල් වෙච්චි සෙරෙප්පු දෙකක් දාගෙන හැතැප්ම ගනන් පයින් යන පුංචි පැටව් ඉන්නවා. හ්ම්ම් දුකයි තමා මේ කියන්නෙත් ඒ වගේ කතාවක්. 1982 වගේ කාලයේ වෙච්චි කතාවක් තමා මේ. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා පාසලක ඉගැන්වීම් කටයුතු කරමින් සිටින කාලයක ඔහුට ලැබෙනවා ස්තාන මාරුවක්. ඔහුට යන්නට වෙන්නේ ඉතාම දුශ්කර ගමකට ඒ මහියංගනයට යාබද ගමක් වූ ඔක්කම්පිටියට, ඔහු ඒත් තමාට ලැබුනු තැන සේවය නිසිපරිදි කරගෙන ගියා. ඔහුට ඔහුගේ පංතියේ උන්නු ළමයි ගනන කිහිප දෙනෙක් වුවත් ඔවුන් ඔහුට ගොඩාක් සමීප වුනා. සේරම ළමයි වගේ දුප්පත්. හරියට පාසැල වැසිකිලියක්වත් තිබුනෙ නෑ. එක් දිනක් රත්න ශ්‍රී මහතා උදෑසනක පාසලට එද්දි ඔහුට අසන්නට ලැබුනේ හරිම සෝචනීය පුවතක් ඒ තමා ඒ පාසලේ පුංචි දැරියකගෙ මරණය පුවත. ඉතින් එවලේ ඔහුට ලොකු ශෝකයක් ඇතිවුනා. ඇය 7 වසරේ ඉගෙන ගත් ඉතා ඩක්ශ දැරියක් වුනා. ඉතින් රත්න ශ්‍රී වරුවක නිවාඩුවක් අරගෙන තවත් ගුරුවරයෙකු සමඟ ඒ දරුවගේ මල ගෙදර හොයාගෙන යනවා. ඒ නිවස තිබුනේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය ආසන්නයේ පොඩි වැවක් ළඟ. පුංචි ක‍ටුමැටි ගහපු පොඩි ගෙයක් ඇයගේ නිවස වුනා. ඒ න්වස පුංචි දැරියගේ දේහය තබන්නටවත් ඉඩක් නොතිබුනා. නිවසින් පිටත පොඩි යාලත්තක් බාලා ඇයගේ දේහය පෙට්ටියක තැම්පත් කරලා තිබුනා. ඒ මඩුවත් ඒ පෙට්ටියත් ගමේ අය එකතු කල මුදල් වලින් තනා තිබුනා. ඇයට අන්දලා තිබුනේ ඇය පාසල් ඇන්ද කහ පාට ගැහිච්ච පාසල් නිල ඇඳුම. මල ගෙදරටම සෙනඟ 10ක් 12ක්වත් ඉන්න නැතිව ඇති. ඒ කිසිම කෙනෙක්ගේ දෙනෙතක කඳුලක් තිබුනෙත් නැහැ. ඒ දරියගේ පියා ටිකක් මැදිවියේ. රත්න ශ්‍රී ටිකක් ඔහුට කිට්‍ටු වෙලා අහනවා මොකද වුනේ කියලා. ඔහු මෙහෙම කියනවා. ඇය හැමදාම උදේට වගේම හවසට ඔක්කම්පිටිය වැවට ගීහින් මල් නෙලලා ඒ මල් දෙමටමල් විහාරයේ විකුනලා තමා ජීවත් වෙන්නෙ. ඉතින් ඊට පෙර දවසේ වහැලා තිබ්බා. මේ දරුව එදත් ගියා මල් නෙලන්න. මල් ටිකක් වැඩියෙන් නෙලන්නට ටිකක් එහාට ගියාට ඇයට දරන්න බැරි තරමට වැවේ වතුර වැඩි වෙලා තිබ්බ නිසා ඇයට සිදුවුනා ඇවට බිලිවෙන්නට. මේ කතාව ඇහුව රත්න ශ්‍රී ගොඩාක් දුක් වෙනවා. පසු කලෙක අමරදේවයන් කල ආරාදනයකට ගීතයක් රචනා කිරීමේදී ඔහු මේ කතාව ගීතයකට හරවලා ලියනවා. දෙමටමල් විහාරය වෙනුවට මහියංගන් විහාරයත්, ඔක්කම්පිටිය වැව වෙනුවට සොරබොර වැවත් යොදමින් ඔහු මේ ගීතය රචනය කරනවා. පසු කලෙන අමරදේවයන් තම බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී මේ ගීතය ගයන්නට පෙර රත්න ශ්‍රී විජේසිංහයන් විසින් මේ කතාව කියනවා. ඒ කතාව කියලා ගීතයත් අසලා ඉවර වෙද්දි ඒ ශාලාව තුල සිටිය සියලු දෙනාම හඬන්නට වුනා. ඒ අර එදා මියගිය පුංචි දැරිය වෙනුවෙන් උනපු කඳුලු නොවේද. අචිනි මේ ගීතයට ආසයි කිව්වේ ඒ කතාව නිසාලු. මේ අචිනි අපිට ‍තෝරලා දුන්නු තෙවැන්න. මෙන්න අචිනිගේ මං ආසම ගීත 10 අතරින් තෙවැන්න.. අහලම බලන්න..

සුදු නෙළුම කෝ ...//
සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාලෝස්වකේ
මල් නෙලා විකුණු පංසලේ...

වැවට කළුවර යාවුනා
සංසාර දුක බෝ වුනා...//
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ...

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා...//
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ...//

ගායනය :- W D අමරදේව.
පද රචනය :- රත්න ශ්‍රී විජේසිංහ.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.






~~Number 02~~

ආදරය, ඇත්තටම ආදරයට කොහෙද බාදා නැත්තේ නේද. එක එක විදියේ බාදා ඇතිවෙන ආදරයට මේ බාදා වෙලා තියෙන්නෙ කාලය. හ්ම්ම් අවුරුදු ගානක ප්‍රේමය සරසවියේ අවසනත් සමඟ නවතන්නට වෙලාද. මට එහෙමයි හිතුනේ. ඇත්තටම ලස්සන ගීතය. අචිනි මේ ගීතයට ආසයි කියලා කිව්වෙ මේ ගීතයෙන් සබරගමුව සරසවිය ගැන කියවෙන නිසාලු. හ්ම්ම් ලස්සන පදවැලක්. මේ අචිනි මං කැමතිම ගීත දහය වෙනුවෙන් තේරූ තවත් ගීතයක්. ඒ ඇයගේ ගීත දහයෙන් දෙවැන්න.. අහලා බලන්න ලස්සනයි...

සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදා කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහ්ල්ලා...//

පහන් තරුව පායාවිත්
ඔබ එනබව පවසන විට...//
සරසවියේ රෑණින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...//

පෙරදින අප හමුවූ තැන
නටඹුන් පමණකි කඳුලක...//
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...//

සමනල වැව පුරවන්නට...

ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.





~~Number 01~~

ප්‍රේමය කෙනෙක්ට සුන්දර වෙද්දි තවත් කෙනෙක්ට අම්හිරි වෙනවා. ඒ අමිහිරි ආදරය විඳින්නේ මිහිරි මතකයන් තිබුනු කෙනෙක් විසින්මයි. මේ ගීතයෙන් කියන්නෙත් එහෙම දෙයක්.. පෙරදිනෙක ළඟින් උන්නු ඇයගේ සිනහව ආදර ජීවිතය කොච්චරනම් ලස්සන කලාද..? කොතරම්නම් සුන්දරද ඒ කාලය... ඒ කාලය ආයේ එන්නෙ නැතිනම් මං ජීවත් කරවන්න එපා.. මට ජීවිතයක් ඒපා කියන දේ අරුත් ගැන්වෙනවා.. මේ ගීතය මුලින්ම ශිහාන් විසින් සිංහල චිත්‍රපටයකට පසුබිම් ගායනාවක් ලෙසින් ගායනා කල ප්‍රතම ගීතය වෙනවා. සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටයට පසුබිම් ගායනාවක් ලෙසින් මෙය ඔහු විසින් ගයනවා. ඇත්තෙන්ම ලස්සන ගීතයක්. අචිනි කිව්වේ මේ ගීතයට විශේශ හේතුවක් කියන්න ඇයට නොහැකි වුනත් ඇය මේ ගීතයට ගොඩාක් කැමති බව, මේ තමා අචිනි කැමතිම ගීතය. අචිනි ඔබට බෙහෙවින් ස්තූතියි. මේ පළමුවැන්න.

<<<<<<<01>>>>>>>


පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ....
පෙරදා මැවූ සිනා....//

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ලතවේවීනම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...

මේ නීල තරු ගොල්ලේ සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවිනම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...

ගායනය :- ශිහන් මිහිරංග.
රූප නිර්මාණය :- කසුන් නවරත්න.
ඉල්ලීම :- අචිනි උත්තරාගෙන්.




(ඔබෙන් උදව්වක්.)
ගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.

ඉතිං අපට වරදින්න පුළුවන්.
ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.

ඒ වගේම ඔබේ හිත් ගත්තු ගීතය ඔබේ මිතුරන් අතරේ බෙදාගන්නත් අමතක කරන්න එපා!
~_______________________________~

ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...


www.facebook.com/kasun.images Like this page...!!


අචිනි විසින් ඉදිරිපත් කල ඇය කැමතිම ගීත දහයයි මේ.. තවත් ගීත දහයක් ළඟද්ම බලාපොරොත්තු වන්න... හදපිරි ස්තූතිය අචිනි මිතුරියට...


Thank You...

Tuesday, May 19, 2015

Sakman Karana Maluwa. සක්මන් කරන මළුව.

සුපුරුදු විදියට සතියක් ගෙවිලා තවත් සතියක උදාවත් එක්කම. පොඩි ප්‍රමාදයකුත් එක්ක මේ අරන් ආවේ මං කැමතිම ගීත දහය. අතීත ප්‍රේම වෘතාන්තයන් අදටත් අමරණීයයි, ඒ අතරින්, සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිලා, නල දමයන්ති, ඒ වගේ කතාවන් ඒ අතරින් එක් ආදර කතාවක් වූ දස්කොන් ප්‍රමිලා ගැන ලියවුනු කතා සහ ගී, නාට්‍ය චිත්‍රපට බොහෝමයි. ඉතින් මේ ඒ ප්‍රේම කතාව ගැන ලියවුනු එක් ගීතයක්. තනිවුනු දස්කොන් සිතින් විඳවමින් ප්‍රමිලා සිහි කරද්දි ප්‍රමිලා මාලිගාවේ සිට පතන්නේ දස්කොන්ගේ සතුට. 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නො එවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී
සෙංකඩගල වට අල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු ගී විහඟුන් හැපී වැටෙන්නේ...//
රන් තරු දැස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
සක්මන් කරන මළුව...
වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ....//
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ
සක්මන් කරන මළුව...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කො‍ටුව.**
**සංගීතය :- ගුණදාස කපුගේ.**
**පද රචනය :- රත්න ශ්‍රී විජේසිංහ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
sinhalasonglyicskasun.blogspot.com Log this blog site
~_______________________________~

Monday, May 18, 2015

Hinehennata epa. හිනැහෙන්නට එපා.

ඇත්තටම ආදරය කරන දෙන්නෙක්, ළඟින් ඉන්න වෙලාවට ආදරය දැනෙන වෙලාවට මෙහෙම හිතෙනවා නේද.. ඇත්තටම එහෙම කාටත් ආදරය ඇත්තටම කරන හිතකට දැනෙන සිතුවිල්ල අතිශෝක්තියෙන් තොරව ලියලා තියනවා නේද මේ ගීතය තුල. හරිම ලස්සන ගීතයක්. ඔයත් අහලා බලන්න.. චාමර විසින් ගයන ලස්සන ගීතයක්. 

~~~~~~~~~~~~~~~~~~~~~~
හිනැහෙන්නට එපා හොරෙන් 
දෙනෝදහක් අතරමැද්දේ
මට හිතේවී නිල් දෑසට එබී බලන්න
ආදරයෙන් මුළු දවසම, බලාන ඉන්න//

අර දු‍ටුවද දුර ආකාසේ මගෙ තනියට ඔබ වාගේ
මහ පොළවට ආදරයෙන් දේදුන්න පායාලා
තව ටිකකින් මැකිලා යාවී
මහ වැහි ඇල්ලක් කඩා හැලේවී
දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ
වැලපෙන්නට එපා දුකින්
කවුරු ඇතත් ඔය ඇස් ළඟ
හිත කියාවී හිතේ දුකින් හඬා වැටෙන්න
ආදරයෙන් රතු දෙකොපුල්, පිසලා ලන්න//

අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා
කිරි උතුරා ආදරයෙන් ඔබ ආදර මුහුණ වගේ
තව මොහොතින් මුදුනට ඒවී
කළු වලාකුලක සැඟවී යාවී
හිත ළඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ
ලැජ්ජා වෙන්න එපා ඉතින්
අපි විතරයි කවුරුත් නැහැ
දැන් හිතේවී ආදරයෙන් ඔබ සිපගන්න
ආදරයෙන් පිරි දෙ අදර, උණුසුම දෙන්න//

~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- චාමර වීරසිංහ.**
**සංගීතය :- රෝහණ වීරසිංහ.**
**පද රචනය - සරත් ශාන්ත ජයගොඩ.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~

Pera Sansare. පෙර සංසාරේ.

ආදරය වේදනාවක් කියලා හිතාගෙන ඉද්දි, තනිකම දුකක් කියලා හිතාගෙන ඉද්දි.ජීවිතයට ආව ඔයා මගේ මුළු ලෝකෙම වෙනස් කලා. හැමදාම මට ආදරෙන් ඉන්න මේ වගේම හෙටත්ඔයා ඉන්න හැම හීනෙම මං සතුටින් ඉන්නවා.. ඒ ආදරේ හැමදාටම මගේම වෙන්න. මං ඔයාට ආදරෙයි. චාමර වීරසිංහ විසින් ගයන මේ ගීතය ඇත්තටම ලස්සන ගීතයක්. අපිට මේ සිංදුව තේරැවේ මං නැමතිම ගීත දහය වෙනුවෙන් තරිදු විශ්වජිත්. මහු මේ ගීතයට කැමතියි කියලා කිව්වේ ඔහුගේ පෙම්වතිය මේ ගීතයට ගොඩාක් කැමති නිසාලු. මේ තරිදු දෙවෙනියට කැමති ගීතය..
~~~~~~~~~~~~~~~~~~~~~
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමු වූයේ
කොහි සිට මේ ලෙස ආවාදේ ඔබ
තනිකම මා සිත දවන වෙලේ....//
සිතුවිල්ලක් වී සැරිසරණු එපා
හදවත ගැස්සෙයි උදේ හවා
සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා
නෙත නිදි නොලබයි රැයම පුරා....//
පෙර සංසාරේ...
දේදුන්නක් සේ නෙත පිනවනවා
වැහිබර අහසට මුවා වෙලා
පවනැල්ලක් වී ඔබ දැවටෙනවා
සිත් මල පෙති මත පිනි ඉසලා....//
පෙර සංසාරේ...

~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- චාමර වීරසිංහ.**
**පද රචනය :- අයෝධ්‍ය ප්‍රනානදු.**
**සංගීතය :- රොෂාන් ප්‍රනානදු.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
**ඉල්ලීම :- තරිදු විශ්වජිත්.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~

අළුත් වැඩක්

මුහුණු පොත ඔස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ගීතවල පදවැල් ඔබ වෙත ගෙන ආ සිංහල ගී පදවැල් පිටුව තවත් අළුත් වෙමින් ඔබ වෙතට බ්ලොග් පිටුවක් තුලින් අද සිට

එකතු වෙන්න අප සමගින්

බ්ලොග් පිටුව :-  sinhalasonglyicskasun.blogspot.com

මුහුණුපොත :- www.facebook.com/kasun.images

Sunday, May 17, 2015

Mal Pele Pahana. මල් පැලේ පහන.

කොච්චර ආදරය කරන දෙයක් වුවද කවදා හෝ අතැර යන්නට වෙනවා. ආදරයෙන් හදන දුව දවසක මාපියන් හැර ගෙදරින් පිටවෙන්නේ කැදැල්ලෙන් නික්මෙන කිරිල්ලියක මෙන්.. දුකින් වුවද තවත් ලෝකයක් සොයාගෙන. ඉතින් ඇත්තටම ඉස්සර ඉඳලම අයියගේ සහ නංගිගේ සහෝදර ආලය ගැන අපි හොඳ හැටි අහලා තියෙනවා. ඉතින් මේ ගීතයත් අයියා කෙනෙක් තම නංගිට ලියලා තියෙන්නෙ. මට ඒ ගීතයට රූපය සකසන්නට චාමරම රඟපෑ වීඩියෝවක දර්ශන කිහිපයක් හම්බුනා. 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මල් පැලේ පහන නිවිලා යයි
නුඹ ගිය දවසට ඉගිල්ලිලා
මගෙ පුංචි නංගියේ යන්න ගියා ඉතින්
කෝම කියන්නද මං පුංචි කිරිල්ලියේ
ජීවිතයේ මහගිරිදඹ හෙට නගින්ට වේවී
ආදරයේ අත්වැල් පොට හෙම බිඳිලා යාවී
මල් බිසව් වගේ....
මල් බිසව් වගේ පරිස්සමෙන් ඉඳපන් නංගෝ
ඊයම් වාගේ හරිම බරයි පවුල් ජීවිතේ
මල් පැලේ පහන...
මේ භවයේ නුඹ පතාන ආ සෙනෙහස බිඳලා
සංසාරේ මං පව් පුරවා ගන්නද කෙලෙසා
රන් රස වාගේ...
රන් රස වාගේ ආදරයෙන් ඉඳපන් පේවී
වැරදුණ දාකදි ඉතින් වරෙන් කඩුල්ල හැරලා
මල් පැලේ පහන...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- චාමර වීරසිංහ.**
**පද රචනය :- සරත් ශාන්ත ජයගොඩ.**
**සංගීතය :- දර්ශන වික්‍රමතුංග.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...
www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~

Kalakaruweku gena 01 කලාකරුවෙකු ගැන 01

කලාකරුවෙකු ගැන විශේශාංගය තුලින් අද ගෙනෙන්නේ ලංකාවේ ගායන ක්ශේත්‍රය තුල ප්‍රවීන ගායකයකු මෙන්ම ඉතාමත් ජනප්‍රිය ගීතයක් ගැන. බලමු එහෙනම් ඒ ගීතය ගැන සහ ඒ ගායකයා ගැන....
ඔහු වෘර්තියෙන් නිතීඥඥයෙක්. ඔහුට පසුදින මහනුවර උසාවියේ නඩුවක් තිබූ නිසා, ඔහුපෙර දින සවස තම මිතුරෙකු සමඟ දළඳා මාලිගාවට ගියේ ආශිර්වාද ලබා ගන්නට. එසේ යන අතර තුර මාලිගාවේ පඩිපෙල නඟින විට. පසෙකින් සුදු සාරියකින් හැඩවුනු සූරූපි කතක් නෙළුම් මල් මිටක් දෝතට ගෙන මාලිගාවට පිවිසුනා. එය දු‍ටු ඔහුගේ මිතුරා ඔහුට කීවේ ඇය නගර සෝබනියක් යන්නයි. ඒ මොහොතේ සිතට නැඟුනු සිතුවිල්ල රන්බණ්ඩා මහතා අකුරු කරන්නට වුනා. පසු කලෙක එය කේමදාස මාස්ටර් වෙත භාරදුන් මොහොතක එතුමා එය නිර්මාණය අරන්නට භාරගත්තා. පදපෙලේ මුලට ලඳුනේ... ලඳුනේ... යන වචනය පද පෙලේ මැද සිට මුලට ගෙනවිත් ගීතය අලංකාර කල මාස්ටර් එයට සරිලන කටහඬක් ‍තෝරා එක් ගායකයෙකුට ආරාදනා කලා ඒ ගීත ගයන්නට. මාස්ටර් තම වාදක මඩුල්ලත් සමඟින් පටිගත කිරීමට සිතූ වේලාව වෙන තුරු බලා සිටියා. ඒ නිර්නාමික ගායකයා වෙලාවට පැමිණියේ නැහැ. ඉතින් මාස්ටර්ට හොඳටම කේන්ති ගියා. එතුමා වෙලාවට වැඩ කරන කෙනෙක් විදියට එතුමා එයට බොහෝ සෙයින් කෝප වුනා. එවකට ඔහුගේ වාදක මඩුල්ලේ වයලීනය වාදනය කල අමරසිරි පීරිස් මහතා දෙසට හැරුනු මාස්ටර්. ඔහුට එය ගායනා කරන්නට කිව්වා. ඉතින් අමරසිරි එම ගීතය ගායනා කලා. ඒ තමා ප්‍රවීන ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ගායන ක්ශේත්‍රයට පැමිණි විදිය. ඒ ඔහු ගයන ලද ප්‍රථම ගීතය. බොහෝදෙනෙක් හිත් බැඳගත්, කොහේ හෝ මේ ගීතය ඇසෙන විට දෙසවන් යොමා අසා සිටින්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරන ගීතයක්.
~~~~~~~~~~~~~~~~~~~~~~
ලඳුනේ.... ලඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ....
දෙනෝදහක් අත ගත්තද
සැමියෙකු නැති ලඳුනේ...
නෑයොත් නෑකම නොකියන
වීදි සරන ලඳුනේ... ලඳුනේ...
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පිය මංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ලඳුනේ....
ලඳුනේ...
බුදුන් දැක නිවන් දකිමැයි
දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරාවකී.. ඔබද කිසා ගෝතමියකි...
පීමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ...
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...
~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- අමරසිරි පීරිස්.**
**පද රචනය :- රන්බණ්ඩා සෙනෙවිරත්න.**
**සංගීතය :- ප්‍රේමසිරි කේමදාස.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~

Dewena Duka Me දැවෙනා දුක මේ

ආදරයේ නියම වටිනාකම දැනෙන්නේ ඒ ආදරය අහිමි වූ දවසටයි. කොහොම වුනත් ‍රැවටීම ආදරය තුල දැන් බහුලයි. ආදරේ මනින්නේ සල්ලි වලින්නම් එතන ආදරයක් තියෙනවද කියන වග ඇත්තටම ප්‍රශ්නයක්.කොච්චර ආදරෙන් හිටියත් දිනෙක් අඟහිඟ කම් මත හිතක් වෙනස් වෙනවනම් ඒක ආදරය නොවේ. ඉතින් මේ කියන්නෙත් ඒ විදියට ආදරයෙන් පැරදුනු තරුණයෙකු ගැන. ඔහු කියනවා ඇයට ඔහුගේ දුප්පත්කම හමුවේ ඔහුව හැර ගියද ඇයට සතුටින් ජීවත් වෙන්නට කියලා.. ලස්සන සින්දුවක්. 
~~~~~~~~~~~~~~~~~~~~~~~
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
මා තරම්... කවුරුවත්... ඔබටනම්
ආදරේ කරන්නෑ...
දැවෙනා දුක මේ...
තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකම් මගේ
ඔබමයි උන්නේ දැවටිලා හදේ..
අපෙ පෙම් කතන්දරේ අද නතර වී ගියේ
දුප්පත් කමටයි මගේ....
දැවෙනා දුක මේ...
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති බැව් හ්ත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතු මැණික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලේ..
සැනසුම අරන් මගේ මට වැඩි කලක් ලොවේ
නිඳුකින් ඉනු පණ මගේ...
දැවෙනා දුක මේ...
~~~~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- නදීර නොනිස්.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~

Weekend Special 2015/05/16-17

ජීවිතය කොපමන පුදුමාකාරද...?? ඊයේ ඉපදුණු කුඩා බිලිඳා හෙට දිනෙක මහළු වී මියදෙනවා. ආදරය ඒ කාලය තුල එම මිනිසාට ජීවත් වෙන්නට අත්වැලක් වෙනවා. කෙමෙන් කෙමෙන් වයසට ගියද ශක්තිය අඩුවී ගියද ආදරයෙන් වෙලුනු දෙදෙනෙකුගේ ආදරය සදා අමරණීයයි. මේ ආදරයත් එහෙම ආදරයක්. එදා ඇවිද ගිය කොලොම්තොටද, එදා අම්බරේ පෑයූ සඳද,, මහලු වී නැත. එහෙත් මේ පෙම් යුවල ගතින් වහැරී මහලු වී ඇත. නමුත් ඔවුන්ගේද සිතෙහි හටගත් ආලය තවමත් මහළු වී නැත.. මේ සති අග සුපිරි ගීතය. බලන්න. අමරදේව මාස්ටර් ගයන ලස්සන ගීතයක් ‍තෝරගත්තා සතිඅග ගීතය වෙනුවෙන්..
~~~~~~~~~~~~~~~~~~~~
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත අප දෙන්නා...
බලන් කැඩපත සොඳුරියේ...
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොලොම්තොට...
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ අයි සරඳම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසත් පැහිලා...
කොලොම්තොට...
~~~~~~~~~~~~~~~~~~~~
**ගායනය :- W.D අමරදේව.**
**රූප නිර්මාණය :- කසුන් නවරත්න.**
~_______________________________~
ලස්සනම ලස්සන ගීතවල පදවැල් ලබාගැනීම සඳහා අප හා එකතු වන්න..
ඔබට අවශ්‍ය ගීත අපට කියන්න...

www.facebook.com/kasun.images Like this page...!!
~_______________________________~